Laptop එකක් ගන්න ඉන්නවා නම් හරියටම දැනුවත් වෙමු.

හොඳ ලැප්ටොප් එකක් ගන්නේ කොහොමද කියන එක ගොඩක් දරුවන්ට වගේම වැඩිහිටියන්ටත් එන ප්‍රශ්නයක්. ඒ වගේම විවිධ වෙළඳ නම් පමණක් හොඳයි යයි මතයකුත් සමහර අය අතර තියෙනවා. ඒ වගේම කඩේ මුදලාලිගෙන් සීනි කිලෝ එකක මිල අහනව වගේ සමහරු “Laptop Price කොහොමද?”, “Game ගහන්න හොඳ computer එකක් කීයද”, වගේ පැහැදිලිව උත්තර දෙන්න අමාරු ප්‍රශ්න අහනවා. අතේ Smartphone එකක් නැති කෙනෙක් නැති තරම් අද කාලේ. තමන් අමාරුවෙන් වියදම් කරලා දෙයක් ගනිද්දී, ගහෙන් ගෙඩි එන්න වගේ නැතුව ටිකක් හොයල බලල ගන්න ඕන තරම් විදි තියනවා, article තියනව, videos තියනව. ඒනිසා මොන දෙයක් ගන්නත් කලින්, ටිකක් හොයල බලල, අහන දේ පිළිවෙලකට අහන්න පුළුවන් වෙන්න මේ දවස් වල trend එකේ තියන දේවල් ගැන basic knowledge එක ඉස්සෙල්ල අරගෙන වැඩේ පටන් ගන්න එක නම් නුවණට හුරුයි.

Best Laptop

Laptop එකක් ද Desktop එකක්ද?

අළුතෙන්ම Computer එකක් ගන්න යද්දී උනත්, දැනට තියන එකෙන් upgrade වෙන්න උනත් ඉස්සෙල්ලම හිතන දේ Laptop PC එකක් ගන්නවද? Desktop PC එකක් ගනන්වද කියන එක. දෙකෙන්ම වෙන්නේ එකම දේ උනාට Laptop එකක්, Desktop එකක් එක්ක compare කරන එක එච්චරම සුදුසු නෑ. ඔයා නිතර එහෙ මෙහෙ යන්නේ නැතුව ගෙදරම ඉඳල වැඩ කරන කෙනෙක් නම්, එහෙ මෙහෙ ගියත්, computer එක use වෙන්නේ ගෙදර ආවට පස්සේ නම් ඔයාට ගැලපෙන්නේ Desktop එකක්. මොකද performance පැත්තෙන් නිතරම same specification තියන Lap එකක්, desktop එකක් compare කරොත්, Desktop PC එක ඉස්සරහින් ඉන්නවා.

Desktop එකක් එක්ක බැලුවම Laptop එක compact device එකක්. ඒ වගේම spec සමාන උනාට lap එකක් ඇතුලේ තියන හැම part එකම වගේ හදල තියෙන්නේ portable use කරන්න පුළුවන් වෙන්න lap එක ඇතුලට ඔබන්න බලාගෙන. Compact නිසාම ගොඩක් වෙලාවට room temperature එකේ නම් පාවිච්චි කරන්නේ, ටිකක් රත් වෙන එකත් වැඩියි laptop එකක් නම්. එකෙන් performance වලට බලපෑමක් වෙනවා ටිකක්. ඉතින් ඔයා කරන්නේ ලොකු workload එකක් තියන වැඩ නම්, කලින් කිවුව වගේ ඉන්නේ ගෙදර නම්, අවශ්‍ය performance එක හරියටම ගන්න Desktop එකකට යන්න. එහෙම නැත්නම් විතරක් Laptop එකක් තෝරාගන්න.

ගන්නේ Laptop එකක් නම් Full Keyboard (Number pad එකත් එක්ක) තියන එකකට යන්න බලන්න. Shortcut use කරද්දී පහසුයි.

ඒ තීරණේ ගත්තට පස්සේ ඔයා මේ ගන්න දෙයින් කරන්න හිතන් ඉන්න දේවල් ගැන අනිවාර්යෙන්ම බලන්න. වියදම් කරාට ඔයාට අවශ්‍ය performance එක ලැබෙන්නේ නැත්නම් ඒ කරන investment එකෙන් තේරුමක් නැතිවෙනවා. ඒවගේම තමයි ඔයාට කරගන්න තියන වැඩ වලට, ඕනවටත් වඩා වැඩියෙන් performance තියන computer එකක් තෝරාගන්න එකත් තේරුමක් නැති වැඩක් (Budget එක ගැන, Electricity Bill ගැන හිතන්නේ නැති කෙනෙක් නම් මේක අදාළ වෙන්නේ නෑ).

ඒනිසා ඔයා වැඩ කරන්න හිතන් ඉන්න software වල, Games ගහන්න ඉන්නවනම් එවයි ඔයාට ගැලපෙන Latest version ගැන Google search එකක් දාල Minimum & Recommended PC Requirements වල specification ලිස්ට් එකක් හදාගන්න. පස්සේ Lap එකක් නම් තෝරාගන්නේ ඔයාගේ මේ specification වලට සමාන හෝ ටිකක් වැඩි spec එකකට යන්න බලන්න. Desktop එකක් නම් ඉතින් ඔයාට ඕන requirement එකේ විදියට ෂොප් එකට කියල assemble කරවගන්න පුළුවන්. Shop වලදී සාමාන්‍යයෙන් එයාල ළඟ නැති brand එකක්, පාර්ට් එකක් “අපෝ, ඒක හරි නැනේ, ලෙඩ එනවා නිතර, warranty claim අවා, අපි දැන් ඒක කරන්නේ නෑ” කියල තමන්ගේ ළඟ තියන දේ විකුණගන්න එක තමයි වෙන්නේ. ඒනිසා ඔයාට අවශ්‍ය දේ එතන නැත්නම්, හිතේ තිබ්බ දේම අවශ්‍ය නම්, දෙන දේ අරන් ගෙදර එන්නේ නැතුව තියන තැනකින් ගන්න.

Display

laptop for graphic designer
ඔයා graphic designer කෙනෙක් නම් display එක ගැන ගොඩක් සැලකිලිමත් වෙන්න වෙනවා.

ඔයා professional content creator කෙනෙක් නම්, Graphic designer කෙනෙක්නම්, advance photo retouch කරනවානම්, true colors ගැන සැහෙන්න හිතන්න ඕන මට්ටමේ වැඩ කරනවානම්, budget එක ගැන වැඩිය අව්ලකුත් නැත්නම් Laptop/Desktop මොකක් බැලුවත් Pantone/CalMAN වගේ color verifications තියන display එකක් තෝරාගන්න පුළුවන් නම් සැහෙන්න හොඳයි. මේ වගේ display වල, 100% sRGB, Adobe RGB output එකක් සමග ගොඩක් හොඳ මට්ටමේ color accuracy එකක් තියනව. හැබැයි කලින් කිවුව වගේම මේවා professional වැඩ වලට හදපු මිලෙන් වැඩි බඩු. එනිසා budget එකේ ප්‍රශ්නයක් නැත්නම් විතරක් මේ වගේ එකකට යන්න. නැත්නම් අනිත් components වලට budget මදි වෙයි build එකකදී නම්.

Display resolution එක 1920×1080 (Full HD) හරි ඊට වඩා වැඩි එකකට හරි යන්න. 1366×768 කියන්නේ ටිකක් outdated resolution එකක්. 1366×768 Display එකකදී ඔයා පාවිච්චි කරන software වල workspace එක arrange වෙන විදියට වඩා වැඩි workspace area එකක් 1920×1080 resolution තියන, ඒ size ම display එකකින් ඔයාට ලැබෙනවා. විශේෂයෙන් lap එකකදී මේ ලැබෙන ඉඩකඩ සැහෙන්න වටිනවා. ඒවගේම IPS Panel එකක් තියන display එකක් තෝරාගන්න බලන්න. Desktop එකකට යනවනම් අඟල් 24 වගේ display එකකට ගියොත් වැඩ කරද්දී පහසුයි. අඟල් 24ට වැඩි එකකට යනවනම් 4K resolution එකකට යන්න බලන්න.
Display එකේ refresh rate එක, ඔයා කරන්නේ professional වැඩ නම් ලොකුවටම අවශ්‍ය වෙන්නේ නැතිවෙයි. Gaming වලට වගේ නම් 144Hz වගේ refresh rate එකක් තියන Display එකකට යන්න පුළුවන් නම් හොඳයි.

Processor

වෙළඳපොලේ අපිට මිලදීගන්න විවිධ brand වල laptop තිබ්බත් Processor එක ඔයාට Intel හරි AMD වලින් හරි තෝරාගන්න වෙනවා. Desktop එකෙත් එහෙමයි. තෝරාගන්න Processor එක අර කලින් කිවුව ඔයාගේ requirements වලට ගැලපෙන එකක් තෝරාගන්න පුළුවන්. Brand එක වෙනස් කියල මහ ලොකු performance වෙනසක් නෑ. හැබැයි model එක, Generation එකත් එක්ක නම් අනිවාර්යෙන් වෙනසක් වෙනවා. ඒවත් compare කරලා බලන්න ඕන තරම් website තියනව. Intel වලට වඩා අඩු budget එකකින් AMD desktop Processor දාල build එකක් කරගන්න පුළුවන් වගේම Processor cores සහ threads වැඩි ගණනක් ලැබෙනවා.

AMD Ryzen 9 5950X DirectX 12.00
AMD Ryzen 9 5950X DirectX 12.00

නිතරම අළුත් generation එකක Processor එකක් තෝරාගන්න. කොහොමත් මේවා අවුරුදු 10ක් 20ක් පාවිච්චි කරන්න හදපුව නෙවෙයි. අවුරුදු 3-5 වගේ use කරන්න බලාගෙන ගත්තම ඇති. ඔයා මේක කියවන වෙලාවෙත් මේවා හදන company එයාලගේ අළුත්ම products upgrade ගැන research කරනවා. හැම දේම වගේ මේවා outdate වෙනවා. ඊට වඩා performance වැඩි, efficient parts එද්දී ඒවට upgrade වෙන්න බලන්න. Parts උනත් ගොඩක් වෙලාවට අවුරුදු 3-5 වගේ පාවිච්චි කරන යද්දී ලෙඩ එන්න පුළුවන් ඉඩකඩ වැඩියි.

Desktop එකකදී ඔයා, අනිවාර්යෙන්ම Graphic Card එකක් වෙනම ගහන්න නම් plan එක, processor එක තෝරාගන්නකොට integrated graphics නැති processor එකක් තොරගතොත් processor එකට යන වියදම අඩු කරගන්න පුළුවන්. (උදා – Intel i5-9400F Model එකේ අවසානෙට තියන “F” අකුරෙන් කියන්නේ integrated GPU, මේ processor එකේ නෑ කියන එක)

Laptop එකක් ගන්න කොට Processor එක U-Series එකක් නැතුව H-Series එකකට යන්න බලන්න. H-Series වල performance වැඩියි. (Processor model number එකේ අවසානෙට තියන අකුර බලන්න)
Desktop එකකදී සාමාන්යෙන් Processor එකක් එක්ක company එකෙන් එන Cooling Fan එක Processor එකේ max output එකේදී generate වෙන heat උනත් දරාගන්න පුළුවන් වෙන්න තමයි හදල එවන්නේ. ඉන් එහාට ගිහින් Overclock කරලා Processor එකට heavy load එකක් දීල දවසෙම වද දෙන වගේ වැඩ නම් කරන්නේ Aftermarket liquid coolers, Fans වලට වියදම් කරාට අව්ලක් නෑ. Room එකේ Air-conditioner එකක් තියනවනම් Aftermarket බඩු අවශ්‍ය වෙන්නෙත් නෑ බොහෝ විට.

MOTHERBOARD

මේක අදාල වෙන්නේ Desktop build එකකදී. ප්‍රධාන වශයෙන් ඔයා තෝරාගන්න processor එක අනුව MB එක තෝරාගන්න වෙනවා. එකේදී RAM Slot කියක් use කරන්න හිතන් ඉන්නවද, Boot drive එකට, cache drive විදියට  M.2 SATA SSD, M.2 NVMe SSD එහෙම කීයක් use කරන්න හිතනවද, SATA,USB ports එහෙම කියක් ඕන වෙයිද, වගේ දේවල් ගැනත් අනිවාර්යෙන්ම බලන්න. අළුත් MB වල built-in Wi-Fi එහෙම එන නිසා, ඒවගේ එකක් තෝරාගන්න බලන්න ගාණ පොඩ්ඩක් වැඩි උනත්.

RAM

කරන් යන වැඩ ටික ඇනයක් නොවී කරගන්න අඩුම 8GB වත් RAM එකක් තෝරාගන්න (Flagship phone වලත් දැන් 8GB, 12GB RAM එනව). 16GB වගේ RAM එකකට යන්න පුළුවන් නම් වඩා හොඳයි. Desktop එකක් නම්, ගහන්න ඉන්නේ 16GB නම්, එක RAM module එකක් නැතුව එකම frequency එකේ 8GB RAM දෙකක් dual channel ගහන්න. (GB ගාන මොකක් උනත් ඒක දෙකට කඩල RAM දෙකක් ගහන්න බලන්න dual channel). ඒක multi-tasking performance පැත්තෙන් ඔයාට වාසියි. (ඒකට Dual channel support කරන motherboard එකක් ගන්නත් අමතක කරන්න එපා). RAM frequency එක වැඩි වෙන තරමට performance වැඩියි. හැබැයි PC Build එකකදී ඔයා තෝරාගන්න processor එක support කරන උපරිම RAM frequency එකට වැඩි RAM එකක් තෝරගත්තට තේරුමක් නෑ. ඒනිසා ගන්න කලින් මේ දේවල් ගැන search එකක් දාල විස්තර හොයල ඉන්න.
Laptop එකකදී නම්, RAM එක තව අවශ්‍යනම්, ගන්න වෙලාවේම ෂොප් එකෙන්ම upgrade කරලම ගන්න. අපි ගලවන්න ගිහින් වැඩේ දෙල් උනොත් warranty claim කරන්න ගියාම ප්‍රශ්න ඇතිවෙන්න පුළුවන්.

Graphics Card

ඔයා කරන්න ඉන්න වැඩ එක්ක ඔයාට Graphic Card එකක් ඕනද නැද්ද කියන එක තීරණය කරගන්න පුළුවන් අර කලින් කිවුව, use කරන්න ඉන්න software වල requirements බැලුවම. Graphic Card එකකට යන්න වෙනවනම්, යන්න ඕන මොකටද කියල budget එකත් එක්ක බලල, කරන්න ඉන්න වැඩ ගැනත් බලල තීරණයක් ගන්න. දන්න තරමින් Nvidia cards වල cuda cores වලින් ඔයා වැඩ කරන software වලට performance boost එකක් ගන්න පුළුවන් AMD Graphic Card වලට වඩා. settings තියනව driver software එකේ. ඒනිසා පෞද්ගලිකව මම තෝරාගන්නේ Nvidia cards. Gaming නැතුව Professional වැඩ නම් කරන්නේ නිතරම, Nvidia Game ready driver නැතුව Professional වැඩ වලට optimize කරපු Nvidia Studio Driver එක දාගන්න. සාමාන්යෙන් Graphic design වගේ වැඩ වලට නම් Nvidia 1650 වගේ, 2GB-4GB VRAM එකක් තියන Graphic card එකක් ඇති හොඳටම. ඉන් එහාට ගිහින් Graphic processor එක්ක heavy task කරන professional කෙනෙක් මේ වගේ article බලල card තෝරන්න මට්ටමේ ඉන්නවා ඇති කියල හිතන්න අමාරුයි. එයාල දැනටමත් market එකේ තියන high end බඩු එක්ක Build කරලා වැඩ කරන යන අය.
මේකෙදි Nvidia Graphics වල MX Series (Laptop graphics) එකට වලට වඩා GTX Series එකේ performance වැඩියි. ඔය දෙකටම වඩා RTX Series එකේ performance වැඩියි. Cuda Cores count එකත් වැඩියි. මිලත් වැඩියි.

Storage

Lap/Desktop මොකක් ගත්තත් Boot drive එකට M.2 form factor එකෙන් SATA SSD හරි M.2 NVMe SSD එකක් හරි තෝරාගන්න.
NVMe SSD එක SATA M.2 එකට වඩා සැහෙන්න වේගවත්. මිලත් වැඩයි. අමාරුවෙන් හරි දාගන්න එක තමයි හොඳම දේ.
Lap එකක් ගද්දි නම්, M.2 NVMe එකක් ගහන්න බැරිනම්, තියෙන්නේ Hard Drive එකක් විතර නම් දෙපාරක් නෙවෙයි සැහෙන්න හිතල බලන්න ගන්නවද නැද්ද කියන එක ගැන. මොකද lap වල එන 2.5″ HDD එක ගොඩක් වෙලාවට 5400RPM එකක්. මොන RAM ගැහුවත් ඒ මන්දගාමී සීන් එකෙන් ගොඩ එන්න බෑ.
සාමාන්යෙන් 256GB, 512GB NVMe SSD එකක් boot drive එකට වැඩිත් එක්ක ඇති. (කරන task එක්ක මේක වෙනස් වෙන්න පුළුවන්). ඔයා කරගෙන යන වැඩ වල files එහෙම boot drive එකේ දාන්න යන්න එපා. ඒකට වෙනම storage එකක් තියාගන්න. Hard Drive එකක් use කරන එක වියදමත් එක්ක බැලුවම වාසියි. සමහර දැන් එන lap වල නම් NVMe SSD වලට අමතරව 2.5″ Hard Drive එකක් එන්නේ නෑ, දාන්නත් බෑ. තව SATA M.2/M.2 NVMe SSD තමයි ගහන්න පුළුවන්. එනිසා ගන්න කලින් ඒවා ගැනත් හොයන්න. ලොකු workload එක්ක වැඩ කරනවානම්, Boot drive වලට අමතරව cache වලට M.2 NVMe/SATA M.2/2.5” SSD එකක් හරි එකක් හරි ගහන්න පුළුවන් නම් PC Build එකකදී ඒක වැඩ වලට පහසුවක්.
Desktop build එකක් නම් මතක ඇතුව 7200RPM HDD එකකට යන්න. 5400RPM එපා වෙනවා වැඩ කරන්න ගියාම. කොහොමත් මේ mechanically rotate වෙන disk වලින් data read/write වෙන speed වලට වඩා SSD වේගවත්. Budget එකේ කිසිම අවුලක් නැත්නම් NVMe වලටම යන්න secondary drive වලටත්.

ඔයා මොන storage device එක පාවිච්චි කළත් ඒවගේ කල්පැවැත්ම ගැන ස්ථිර සහතිකයක් දෙන්න අමාරුයි. මොකද සැණෙකින් වැඩ කරන්නේ නැති තත්වයකට පත්වෙන්න පුළුවන්. මොකද මේ සියල්ලම අවසාන වශයෙන් උපකරණ. එනිසා අමාරුවෙන් හරි External Hard Drive එකක් අරගෙන data වල backup එකක් තියාගන්න. ඒවගේම External Drive එකේ තියන් වැඩ කරන්න යන්න එපා, එක එක issues එන්න පුළුවන්. ඒක data backup වලට විතරක් තියාගන්න. Backup එක පිළිවෙලට කරගන්න software පාවිච්චි කරන්න පුළුවන් Google Sync, OneDrive වගේ ඒවා. වැඩේ පහසුයි. වැඩ ටික ඉවර වෙලා daily Backup කරනවා. තව External drive එකක weekly වගේ Backup කරනවා. උනාට පස්සේ හඬා වැලපෙනවට වඩා ඒකට වියදම් කරන එක ලාබයි.

Power supply

PC Build එකකදි, ඔක්කොම පාර්ට්ස් වල safety එක, durability එක රඳාපවතින්න මේකත් ගොඩක් වැදගත්. එනිසා අමාරුවෙන් හරි මේකත් හොද brand එකකින් ගන්න. Budget අව්ලක් නැත්නම් 80+ වගේ Gold/Platinum/Titanium ratings එක්ක ගත්තොත් කාලයක් පාවිච්චි කරන්න පුළුවන් බයක් නැතුව. Power consumption එකත් efficacy.

Casing

හොඳ airflow එකක් තියන durable casing එකක් තෝරාගන්න. අඩුවට තියන, power supply එකත් එක්කම එන casing වලට නම් නොයා ඉන්න තරමට හොඳයි. Budget මදි නම් Branded එකක, law budget range එකේ තියන casing එකකට යන්න පුළුවන් නම් කාලයක් පාවිච්චි කරන්න පුළුවන් මලකඩ එහෙම බැඳෙන්නේ නැතුව. Aftermarket liquid coolers එහෙම දාන්න ඉන්නවනම් ඒවට අවශ්‍ය ඉඩපහසුකම් ගැනත් හොයල බලල ගැලපෙන casing එකක් තෝරාගන්න.

Mouse/Keyboard

ලොකුවට හිතන්න දෙයක් නෑ. හැබැයි අඩුවට තියන ඒවා 10ක් use කරන කාලය use කරන්න පුළුවන් ටිකක් හොඳ බ්රෑන්ඩ් එකකින් ගත්තම. Mouse එක 2x Button (Double click Button), backward button එහෙම තියන එකක් ගන්න පුළුවන් නම් වැඩ කරද්දී පහසුයි). ඔබේ පහසුවට අවශ්‍ය නම් Wireless mouse/keyboard ගන්න පුළුවන්. එහෙම ගන්නවා නම් rechargeable එකක්ම ගන්න උත්සහා කරන්න. එකෙන් battery වලට අමතර මුදලක් වැය කරන්න අවශ්‍ය වෙන්නේ නැහැ. ඒ වගේම ඔබ mouse එක සහ keyboard එක මිලදී ගන්න කලින් පොඩ්ඩක් පාවිච්චි කරලා බලන්න. එක ඔබට භාවිතා කරන්න පහසුද නැත්ද කියලත්. මොකද සමහර keyboard වල keys press කරන එක හරිම අපහසු වෙන්න පුලවන්.

UPS

Desktop එකක් UPS එකක් නැතුව use කරන්න එපා. 1200VA වගේ UPS එකක් ගන්න පුළුවන් නම් තවත් හොඳයි. වැඩි වෙලාවක්, ලොකු workload එකක් එක්ක වැඩ කරනවානම් මේකත් මදි. Project එකක් render වෙද්දී වගේ power cut උනොත් 650VA වගේ හැරෙන්නත් මදි.

Operating System (OS)

දැන් එන ගොඩක් Lap වල නම් Genuine Licensed OS එක එනවා. එහෙම එන්නේ නැති වෙලාවක හරි, Desktop assemble එකකදී හරි, Refurbished windows key එකක් අරගෙන දාගන්න. (Shop එකෙන්ම ගත්තොත් නම් Microsoft එකෙන් purchase කරා වගේ ගානක් ගනීවි අන්දලා). Updates එහෙම ඔක්කොම available. වැඩි ගානක් වෙන්නේ නෑ ඕනතරම් sell කරන අය, pages මම දැකල තියනවා. Crack කරනවට වඩා safety. ඒත් එක්කම paid Virus protection එකක් දාගන්න. අවුරුද්දකට පොඩි ගානක් වියදම් කරාට security පැත්තෙන් safe.

උපුටා ගැනීම: අන්තර්ජාලය ඇසුරෙනි.

Leave a Comment