Skip to content
Open menu

Computer Basics

අලුතෙන් පරිගණකයක් ගන්න හිතන් ඉන්නවා නම් මේ ගැනත් දැනුවත් වෙන්න.

Updated 8 November 2026 6 min read

ඔබ නව පරිගණකයක් මිලදී ගැනීමට සූදානම්ද? තාක්ෂණික වචන සහ පිරිවිතර රැසක් නිසා එය තරමක් ව්‍යාකූල විය හැකිය. වර්තමානයේ සාධාරණ මිලට ලැප්ටොප් පරිගණක රැසක් වෙළඳපොළේ තිබේ.

නවීන දෘඩාංග නිසා, විශාල මුදලක් වැය නොකර වුවද හොඳ පරිගණකයක් ලබා ගත හැකිය. වැදගත් වන්නේ මිල සහ ඔබේ අවශ්‍යතා අතර නිවැරදි සමබරතාවය සොයා ගැනීමයි.

නිවැරදි පරිගණකය තෝරා ගැනීම අභියෝගාත්මක විය හැකි නමුත් ඔබට උදව් කිරීමට අපි මෙහි සිටිමු. පරිගණකයක් මිලදී ගැනීමේදී ඔබ අවධානය යොමු කළ යුතු වැදගත්ම පිරිවිතරයන් සහ විස්තර මෙන්න.

RAM

Computer RAM modules installed on a motherboard

සසම්භාවී ප්‍රවේශ මතකය (RAM) ගබඩාව (storage) සමඟ පටලවා නොගන්න. RAM යනු ක්‍රියාත්මක වන යෙදුම් සහ පද්ධති ක්‍රියාවලි භාවිත කරන දත්ත තාවකාලිකව රඳවා තබන ස්ථානයයි. පරිගණකය තත්‍ය කාලීනව ගණනය කිරීම් සිදු කරන තාවකාලික වැඩ මේසයක් ලෙස RAM ගැන සිතන්න.

අද දින මතක ශක්තියෙන් යුත් යෙදුම් සහ වෙබ් බ්‍රව්සර් සමඟ පරිගණක වලට වෙන කවරදාටත් වඩා වැඩි RAM ප්‍රමාණයක් අවශ්‍ය වේ. ඔබ එකවර විවෘත යෙදුම් කිහිපයක් භාවිතා කිරීමට නැඹුරු වන්නේ නම්, ඔබේ පරිගණකයේ RAM වැඩි වන තරමට වඩා හොඳය.

ප්‍රමාණවත් RAM ඇති විට, පරිගණකය මන්දගාමී නොවී එකවර වැඩි යෙදුම් සහ බ්‍රව්සර් ටැබ් විවෘතව තබා ගත හැකිය.

Windows 11 සඳහා අවම වශයෙන් 4 GB RAM අවශ්‍ය වුවද, සුමට භාවිතයක් සඳහා එය ප්‍රමාණවත් නොවේ. නව පරිගණකයක් මිලදී ගන්නේ නම්, අවම වශයෙන් 8 GB RAM ඇති එකක් තෝරා ගන්න.

ඔබ එකවර කාර්යයන් රැසක් කරන්නේ නම් හෝ එදිනෙදා කටයුතුවලට වඩා බර වැඩ (වීඩියෝ සංස්කරණය, ක්‍රමලේඛනය වැනි) කරන්නේ නම්, අවම වශයෙන් 16 GB තෝරා ගන්න.

Processor

processor

සෑම වසරකම සකසන (processors) වඩාත් කාර්යක්ෂම හා බලවත් වන අතර, ඔබේ අවශ්‍යතා අනුව තෝරා ගැනීමට සකසන මාදිලි රැසක් වෙළඳපොළේ ඇත.

වර්තමානයේ Intel හි ආරම්භක මට්ටමේ Core i3 චිප් යනු ලාභම නමුත් තරමක් බලවත් ප්‍රොසෙසරයකි. මූලික පරිගණක කාර්යයන් ඉටු කරන පරිගණකයක් ඔබ සොයන්නේ නම්, Core i3 චිප් මාදිලිය ප්‍රමාණවත් විය යුතුය.

Core i5 සකසන කාර්ය සාධනය සහ මිල අතර හොඳ සමබරතාවයක් අවශ්‍ය අයට සුදුසුය. සාධාරණ මිලකට කාර්යක්ෂම සකසනයක් අවශ්‍ය නම් මෙය වඩාත් උචිතයි.

Core i7 සහ i9 සකසන මිල අධික වුවද ඉතා වේගවත්ය. ඔබ වෘත්තීය මට්ටමේ කාර්යයන් සඳහා පරිගණකය භාවිත කරන්නේ නම්, මෙවැනි සකසනයකින් විශාල කාලයක් ඉතිරි කර ගත හැකිය. මුදල් ගැටළුවක් නොමැති නම්, Core i7 හෝ i9 පරිගණකයක් දිගු කාලීන ආයෝජනයක් වේ. (AMD Ryzen 3, 5, 7 සහ 9 සකසන ද මේ හා සමාන මට්ටම් අනුව තෝරා ගත හැකිය.)

Storage

දැනට, පරිගණක ගබඩා වර්ග දෙකක් තෝරා ගැනීමට තිබේ: HDD (Hard Disk Drive – දෘඩ තැටි ධාවකය) සහ SSD (Solid State Drive -ඝන තත්ත්‍ව ධාවකය).

අද වන විට බොහෝ නව පරිගණකවල SSD භාවිත වේ. HDD වලට වඩා SSD බොහෝ වේගයෙන් දත්ත කියවීම සහ ලිවීම සිදු කරයි. එහෙත් එකම ධාරිතාවයක් සඳහා SSD එකක මිල HDD එකකට වඩා වැඩිය.

මෙම තාක්ෂණ දෙකම ඇතුළත් දෙමුහුන් (hybrid) තැටි ද වෙළඳපොළේ ඇත. ඒවා SSD තරම් වේගවත් නොවුවද සාමාන්‍ය HDD වලට වඩා වේගවත්ය.

අවම වශයෙන් 512 GB SSD එකක් ඇති පරිගණකයක් තෝරා ගන්න; වැඩි ඉඩක් අවශ්‍ය නම් 1 TB හෝ ඊට වැඩි ධාරිතාවක් තෝරන්න. පසුව තවත් SSD එකක් හෝ තැටියක් සවි කිරීමට ඉඩ ඇත්දැයි ද විමසන්න. බොහෝ ලැප්ටොප් පරිගණකවල M.2 ලෙස හඳුන්වන SSD සවි කිරීමේ ස්ථානයක් ඇත.

Screen Size

Laptop-screen-sizes

ලැප්ටොප් එකක් මිලදී ගන්නේ නම් තිරයේ ප්‍රමාණය වැදගත් තීරණයකි. ලැප්ටොප් තිර සාමාන්‍යයෙන් අඟල් 11 ත් 17 ත් අතර වේ. ඔබ එකවර කවුළු (windows) කිහිපයක් භාවිත කරන්නේ නම්, විශාල තිරයක් බොහෝ පහසුය.

කෙසේ වෙතත්, තිරය විශාල වන තරමට ලැප්ටොප් පරිගණකය අතේ ගෙන යා හැකි හැකියාව අඩු වන බව මතක තබා ගන්න. විශාල තිර සහිත ලැප්ටොප් පරිගණක වල බැටරි ආරෝපණය රඳා සිටීමේ කාලයද අඩු වන බැවින් එකක් තෝරා ගැනීමේදී එය සැලකිල්ලට ගන්න.

ඩෙස්ක්ටොප් පරිගණකයකට ගෙන යාමේ පහසුව සහ බැටරි කාලය වැදගත් නොවේ; බොහෝ දෙනා අඟල් 24 හෝ ඊට විශාල මොනිටර තෝරා ගනී.

Resolution

Resolution (විභේදනය) යනු තිරයට පෙන්විය හැකි පික්සල ගණනයි; එය තිරයේ පැහැදිලි බව තීරණය කරයි. පික්සල ගණන වැඩි වන තරමට රූප වඩාත් පැහැදිලි වන අතර, මිලද වැඩි වේ.

බොහෝ අඩු මිල ලැප්ටොප් පරිගණක පැමිණෙන්නේ 720p වලින් වන නමුත් අද වන විට අවම වශයෙන් 1080p (1920 x 1080) සංදර්ශකයක් සහිත පරිගණකයක් තිබීම වැදගත් වේ.

ඔබට මිල මුදල් වලින් ගැටලුවක් නොමැති නම් වැඩි විභේදනයක් (4K/UHD resolution) සහිත Laptop පරිගණකයක් හෝ Desktop පරිගණක monitor එකක් මිලදී ගත හැක.

Resolutions

Size and Weight

නිසැකවම, ඩෙස්ක්ටොප් වල ප්‍රමාණය සහ බර එතරම් වැදගත් නොවන නමුත් ලැප්ටොප් පරිගණක සඳහා අතේ ගෙන යා හැකි හැකියාව විශාල සාධකයක් විය හැකිය. විශාල හා බර ලැප්ටොප් පරිගණකයක් රැගෙන යාම අපහසු විය හැක, එබැවින් ඔබ නිතරම ඔබේ ලැප්ටොප් එක රැගෙන යාමට අදහස් කරන්නේ නම් අඟල් 13 හෝ ඊට අඩු තිරයක් ඇති එකක් තෝරන්න.

උපරිම ලෙස එහා මෙහා ගෙන යා හැකි විය යුතු පරිගණකයක් සොයනවාද? Ultrabook ලෙස හැඳින්වෙන සමහර ඉහළ මට්ටමේ ලැප්ටොප් පරිගණක ඉතා සිහින් සහ සැහැල්ලුය. කෙසේ වෙතත්, මේවා මිලින් අධික වේ. අතේ ගෙන යා හැකි ප්‍රමාණයට වඩා වැඩි කාර්ය සාධනයකට කැමති නම්, ඝන සහ බරැති ලැප්ටොප් පරිගණකයක් සාමාන්‍යයෙන් ඔබට මුල්‍ය වශයෙන් පහසු වනු ඇත.

Size-and-weight-PC

Operating System

ඔබ තෝරා ගන්නේ Windows පරිගණකයක් ද, නැතහොත් Apple (macOS) පරිගණකයක් ද?

Operating-system

මෙම තීරණය ඔබට වැය කළ හැකි මුදල මත සහ ඔබගේ අවශ්‍යතාව මත තීරණය වන්නක්. මෙහෙයුම් පද්ධති දෙකම ඉතා දියුණු වන අතර, එදිනෙදා පරිගණක භාවිතය සඳහා ඕනෑම එකක් පහසුවෙන් භාවිත කළ හැකිය.

වීඩියෝ සහ ග්‍රැෆික් නිර්මාණකරුවන් අතර Apple පරිගණක වසර ගණනාවක් තිස්සේ ජනප්‍රියයි. ඔබ iPhone, iPad හෝ Apple Watch භාවිත කරන්නේ නම්, මේ උපාංග එකට හොඳින් ක්‍රියා කරන නිසා Mac එකක් තවත් පහසු විය හැකිය.

කෙසේ වෙතත්, සමාන පිරිවිතර සහිත Windows පරිගණකයක් බොහෝ විට අඩු මිලකට ලබා ගත හැකිය; එය Windows හි ප්‍රධාන වාසියයි. සේවා ස්ථානවලද Windows බහුලව භාවිත වන අතර බොහෝ දෙනෙකුට එය හුරුපුරුදුය. නැවතත්, ඒ සියල්ල රඳා පවතින්නේ ඔබ කැමති කුමන වැඩසටහන් සහ පරිශීලක අතුරුමුහුණත් මත ය.

මේ දෙකම ඔබට නොගැලපේ නම්, Linux වැනි විවෘත මූලාශ්‍ර මෙහෙයුම් පද්ධතියක් සහිත පරිගණකයක් තෝරා ගත හැකිය, නැතහොත් ඔබේ පරිගණකයට එය ස්ථාපනය කළ හැකිය. Chromebook ලෙස හැඳින්වෙන ලැප්ටොප් පරිගණක ද Linux පාදක ChromeOS භාවිත කරයි. මෙවැනි පද්ධතිවලින්ද එදිනෙදා කටයුතු බොහොමයක් පහසුවෙන් කළ හැකිය.

Connectivity

ports-on-laptop

පරිගණක කෙවෙනි (ports) වර්ග රැසක් ඇති අතර ඒවා දිනෙන් දින දියුණු වේ. අද නව පරිගණකයක් මිලදී ගන්නේ නම්, අවම වශයෙන් පහත සම්බන්ධතා තිබිය යුතුය:

  • USB-C
  • USB 3.2 (USB-A)
  • HDMI 
  • Wi-Fi 6 (802.11ax) හෝ ඊට නව
  • Bluetooth 5.0 හෝ ඊට නව

මීට අමතර කෙවෙනි තිබීම අමතර වාසියකි.

Price

computer-specifications-and-price

ඉහත කරුණු සලකා බැලීමෙන් අනතුරුව වැදගත්ම සාධකය වන්නේ මෙම උපකරණය සඳහා ඔබට දැරිය හැකි මුදල කොපමණක්ද යන්න ය. ඔබ පරිගණකය මිලදී ගන්නේ කුමන අරමුණක් සඳහාද යන්න ඔබ කිහිප වතාවක්ම හොඳින් විශ්ලේෂණය කළ යුතුය.

ඔබ එදිනෙදා විද්‍යුත් තැපෑලක් යැවීමට වීඩියෝ නැරඹීමට ආදී සරල කටයුතු සඳහා පමණක් පරිගණකයක් මිලදී ගන්නේ නම් අඩු මිල පරිගණකයක් ප්‍රමාණවත්ය. එවැනි සරල අවශ්‍යතා සඳහා මිල අධික පරිගණකයක් ගැනීමෙන් ඔබ කිසිදා භාවිත නොකරන පහසුකම් සඳහා මුදල් ගෙවනු ඇත.

සැමට ගැළපෙන “හොඳම” පරිගණකයක් නැත. ඔබට හොඳම උපාංගය වන්නේ ඔබේ අවශ්‍යතාවලට ගැළපෙන එකයි; ඉහළම ධාරිතාව, ඉහළම වේගය හෝ ඉහළම මිල ඇති එක නොවේ.

Practise with real papers

Have ICT notes or papers from your school? Share them and help other students.

Submit a Paper